Blogger news

බෙහෙත් ගැල්වූ රාවණාගේ දේහය මහතුඩුගල ගල් පර්වතයක



රාම, සීතා සහ රාවණා හා සම්බන්ධ සියලු ජනප්‍රවාදවලම පාහේ සඳහන් වන්නේ රාවණා සීතා පැහැරගෙන ආවේ ලංකාවට බවත් බිහිසුණු රාම - රාවණා යුද්ධය සිදුවූයේ ලංකාවේදීම බවත්ය. සීතා සඟවා තැබු ස්ථානය හා රාම - රාවණා යුද්ධය පැවති ස්ථානය පිළිබඳ කිසිඳු එකඟතාවයක් නොමැත.
හනුමාන් ලංකාපුරයේ වූ සියලු නිවෙස්වල පියසි මතට පනිමින් ඒවා දවා අළු කළ බවත් එම ගින්නේ ආලෝකය පතිත වූ පෙදෙස නුවරඑළිය නමින් ව්‍යවහාරප්‍රාප්ත වූ බවත් බොහෝ ජනප්‍රවාදවලින් කියවේ. නුවරඑළිය හා ඒ ආසන්න ප්‍රදේශවල පස් කළු පැහැ ගැන්වී ඇති අතර එසේ වූයේ හනුමාන් ගැසු ගින්නෙන් මුළු ප්‍රදේශයම පිළිස්සී ගිය බැවිනියි පැවසේ.
කෙසේ වුවද සීතා සහ සතුරු රාවණා පිළිබඳ සිද්ධිය නුවරඑළිය ප්‍රදේශයට පමණක් සීමා කරන්නට ඇතැම් ජනකතා සූදානම් නැත. මෙරට නන් දෙසින් මේ පිළිබඳ අසන්නට ලැබෙන කතා පුවත් අනන්තය; අප්‍රමාණය.
මෙහිදී ලංකාපුරය නමින් හැඳින්වුණේ රට ද නැත්නම් ලංකාවේ එක්තරා ප්‍රදේශයක් ද යන්න පිළිබඳව ද එකඟතාවයක් නොමැත. මෙම ප්‍රවාදය දිගහැරෙන්නේ මෙරට යක්ෂ ගෝත්‍රිකයන් පාලනය කළ යුගයේදීය. පළමුවෙන්ම යක්ෂ ගෝත්‍රික කුවේර රජ පිළිබඳ තොරතුරු අනාවරණය වෙයි. ඔහු ලංකාපුරය පාලනය කළේ බදුල්ල
අග නගරය කරගෙනය.
මහා බ්‍රහ්මයාගෙන් ඉතා බලසම්පන්න වරම් රැසක් ලබන රාවණා කුවේරගේ වැඩිමහල් සොහොයුරාය. බලසම්පන්නකමින් මත්වන රාවණා සිය සොහොයුරු කුවේර මරා දමා රාජ්‍යය සහ දඬුමොනර යන්ත්‍රය පැහැරගෙන බදුල්ල අග නගරය කරගෙනම ලංකාපුරය පාලනය කරයි.
රාවණා සීතා පැහැරගෙන එන්නේ මේ අතරතුරය. දඹදිව සිට බොහෝ දුරින් පිහිටි ලංකාපුරය නම් වූ යක්ෂ ගෝත්‍රික රාජ්‍යයේ සිරකාරියක වූ සීතාගේ පේ‍්‍රමය බලහත්කාරයෙන් දිනා ගන්නට රාවණා කිසිදු අවස්ථාවක උත්සාහ නොකළේය. මෙම සිද්ධිය අනාවරණය කරන්නේ රාවණා පරමාදර්ශී රජෙකු වූ බවයි.
යක්ෂ ගෝත්‍රික තුන්වන රජු විභීෂණය. රාමගේ ප්‍රහාරයෙන් රාවණා යුදබිම මියෑදුණ පසු රාම විසින්ම ලංකා රාජ්‍යය විභීෂණට පවරනු ලබයි. විභීෂණ යනු කුවේරගේ බාල සොහොයුරාය. එබැවින් රාවණාගේ ද මල්ලීය. විභීෂණ ලංකාපුරය පාලනය කරන්නේ කැලණිය අගනුවර කරගෙනය.
මෙම කුවේර, රාවණා සහ විභීෂණ යන යක්ෂ ගෝත්‍රික රජුන් තිදෙනා මෙරට පාලනය කළ යුගය පදනම් කරගෙන “ඉන්දියාවේ සිට සීතා පැහැරගෙන ආ දස හිස් ඇති යක්ෂාධිපති රාවණාගේ වාසභූමිය ලංකාව වූවා මිස ඊට පෙර මෙම දිවයින මනුෂ්‍ය වාසයක්ව පැවති බවට කිසිදු සාධකයක් නැතැයි ‘ලංකා ජනතාව‘ නමින් කෘතියක් සම්පාදනය කළ ආචාර්ය නන්දදේව විජේසේකර මහතා සඳහන් කර ඇත.
ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදාගන්න